Tuesday 15 May 2012

තමාරා වමාරා කෑම නොහාත් අන්ධයා දුටු අලියා


මාරා (කුනනායකම්) වමාරා කෑම උග‍්‍ර සිංහල ජාතිකවාදීන්ගේ ද ලාබ ජනමාධ්‍ය කලාවේ ද සමාජවාදීන්ගේ ද තේමාවක් බවට පත්ව තිබූ කන්දොස්කිරියාව දැන් අවසානය. දැන් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය තමාරාට කතා කරන්නේවත් තමාරා  ජනමාධ්‍යට තොරතුරු බෙදා දෙන්නේවත් නැත. ඒ කියුබාවේ තානාපතිකමත් නැතිව ගොස් තානාපතිකම ලැබෙන්නට කලින් සිටියාක් මෙන් යළි ස්විස්ටර්ලන්තයේ පිං පඩියෙන් ජීවත්වන්නට සිදුවේදැයි යන බිය නිසා විය හැක.  එබැවින්  තමාරා වෙනුවෙන් ගොඩ නැඟුනු අශුද්ධ සන්ධානයේ දේශපාලනය විමසා බැලීමට දැන් අවස්ථාව එළඹ තිබේ.
අශුද්ධ සන්ධානය
තමා ඉවත් කළහොත් එය ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට කැරෙන විශම සැළකීමක් ලෙස පෙනී යනු  ඇතියි කී තමාරා රැක ගැනීමට ඉදිරිපත් වී ලිපියක් ලියූ ජාතිවාදී අමරසේකර කියන්නේ ‘‘අපේ තානාපතිනි කුනනායකම් ඥානවන්තය. දෙපිටකාට්ටුවන් හදුනා ගත්තීය කියා ය.’’
පෙරටුගාමී සමාජවාදීන් කිවේ   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ‘‘ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාවේදී සම්මුතිකාමයට නොගොස් මිත‍්‍ර රටවල් සමඟ එක්ව ඇමරිකානු යෝජනාවට එරෙහිව කටයුතු කළ ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසෙහි තමාරා කුනනායකම් මහත්මිය’’ බිල්ලට දුන්නේ ඇමෙරිකාවට බියේ බවයි. ජවිපෙ කීවේ කුනනායකම් බිල්ලට දුන්නේ ඇමෙරිකාව සැනසීමට බවයි. විමල් වීරවංශවාදී සී නිව්ස් වෙබ් අඩවිය ද තමාරාට දැක්වූයේ හිතෛශී බවකි. හෙළ උරුමවාදී ඬේලි මිරර් පුවත්පත සහ සිංහල ජාතිකවාදී දිවයින ද තමරා කුනනායකම් රැක ගැනීමට ඉදිරිපත් වූවා ය.
මෙම සියළු දෙනාම වාගේ තමන්ගේ දේශපාලනයට ගැලපෙන පරිදි මෙකී නිගමනයන්ට එළඹුනේ තමාරා විසින් දෙන ලද තොරතුරු සහ  ජනමාධ්‍ය විසින් කරන ලද වාර්තාකරනයන් හේතු කොට ගෙනය. එම වාර්තාකරනයන් සියල්ලම වාගේ තමරා කුනනායගම්ගේ නිශ්පාදනයන්ය. මෑත කාලයෙහි දක්නට ලැබුණූ සාර්ථකම ජනමාධ්‍ය ප‍්‍රචාරය සහ මත නිශ්පාදනය සම්බන්ධයෙන් ඇයට අප ළකුණු ලබා දිය යුතු ය.
මාධ්‍ය හැසිරවීම
ඇය වෙනුවෙන් පළවූ  ලිපි තෙවර්ගයකි. පළමුව  අන්වර්ථ නම් වලින් ඇයගේ සමීපතමයින් විසින් ඇය අහස උසට වර්ණනා කර පල කරන ලද ලිපි. දෙවනුව ඇය විසින් කරුනු ලබා දී ඞී.බී.එස්. ජෙයරාජ්  විසින් ලියා ලොව පුරා යවන ලද ලිපි. තෙවනුව ඇය විසින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යන්ට ලබා දෙන ලද සම්මුඛ සාකච්ජා.
මෙම ප‍්‍රචාරය මගින් කියා සිටියේ  මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය 19 වන සැසි වාරයේ දී අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් ගොඩ නගමින් ශ‍්‍රී ලංකාව රැක ගැනීමට තීරණාත්මක වැඩ කොටස කළේ කුනනායකම් ය, ඇයට මානව හිමිකම් කවුන්සිලයේ මහා පිළිගැනීමක් තිබේය කියාය. මේ කතා දෙකම අමු බොරුය.
මෙම කරුණු සනාථ කිරීම පිණිස තමාරා කුනනායකම් ඩෝහාහි පැවැති එක්සත් ජාතීන්ගේ වෙළද සහ සවර්ධනය පිළිබඳ 13වන සමුළුවෙහි උප සභාපති වශයෙන් පත් කර ගන්නා ලද බවට ලොකු පුවතක් පළ විය. එනමුත් එම සමුළුවේ වෙබ් අඩවිය පිරික්සා බැලූවේ නම් එවැනි උප සභාපතිවරුන් 32නකු සිටි බව දැක ගත හැකි ය. එම වෙබ් පිටුවේ ඇයගේ ජයාරූපයක්වත් නැත. ඇය කළ කතාවක්වත් නැත.
එවැනිම තවත් පුවතකින් කියැවෙන්නේ ඇයට මහ පුටුවක් එනම් සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ක‍්‍රියාකාරී කමිටුවේ සභාපති ධුරය ලැබී ඇති බවයි. මෙම මිත්‍යව කොතරම් වැපිරී ඇත්  දයත් ත‍්‍රිමාන වෙබ් අඩවිය කියන්නේ ඇය කියුබානු තානාපතිකම වෙනුවට එම තනතුර බාර ගන්නට ඉඩ ඇති  එම කමිටුවේ වෙබ් පිටුව සිසිරා බලන අයකුට වුව ද ඇයගේ පත්වීම පිළිබඳ පුවතක් සොයා ගැනීමට නොහැකි අතර 13වන සැසිවාරයේ දී ඇය විසින් ඉදිරිපත් කරන ලද සභාපති වාර්තාවන්හිවත්  ඇයගේ නම සඳහන් නොවේ.

මෙය පූර්ණකාලින තනතුරක් නොව අතර ඊට වැටුපක් ලැබෙන්නේ නැත.  මෙවැනි කමිටු දුසිම් ගණනාවක් මානව හිමිකම් කවුන්සිලයේ තිබෙන අතර ඒ සියල්ලටම සභාපතිවරුන් පත් වන්නේ නිතරඟයෙනි.
තමාරා විසින් පැල කරන ලද තවත් පුවතකින් කියැවුනේ මානව හිමිකම් මහ කොමසාරිස් නවී පිල්ලේ ට එරෙහිව ඇය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යන බවයි. එයට හේතුව වශයෙන් දක්වන ලද්දේ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට අවසර දීමය. එවැනි විරෝධයක් තිබුණේ නම් එය කළ යුතුව තිබුනේ 19වන සැසි වාරයේ දී කවුන්සිලයේ සභාපතිනියට විරුද්ධවය. මහ කොමසාර්ස්වරියට විරුද්ධව නොවේ. 19වන සැසි වාරය අවසන් වී මාස දෙකකට ආසන්න කාලකට පසු එවැනි යෝජනාවක් ගෙන එන බව කියා සිටිම ද ප‍්‍රචාරක උපප්රවැට්ටික් පමනක් විය. මෙම පුවත තමාරා පැල කළේ මෙම වසර අගදී කැරෙන්නට ඉඩ ඇති මහ කොමසාරිස්වරියගේ ශ‍්‍රී ලංකා සංචාරයට පොල්ලක් දැමීමටය.
තමාරා ජීනීවා තානාපති ධුරයෙන් ඉවත් කිරීම වර්ගවාදී ගුණදාස අමරසේකර සහ කීර්ති වර්ණකුලසූරියගේ  සිට විරවංස සහ ජවිපෙ හරහා පෙරටුගාමී සමාජවාදීන් දක්වාම නොපෙන්වන  විරෝධයකට සහ පෙන්වන කණස්සලට හේතු වී තිබෙන බව පැහැදිළිය.
මහා පොදු සාධකය
ඊට හේතුව නම් මේ සියළු දෙනාටම අදාළ මහා පොදු සාධකයක් තිබීමය. එනම් සම්ප‍්‍රදායික අධිරාජ්‍ය විරෝධයයි. එය ජාතිවාදයටත් අධ‍්‍රානග‍්‍රාහී සමාජවාදයටත් පොදුය. මේ සියළු දෙනාම සතු කෝකටත් තෛලය වනුයේ ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බූදයන්ට මූල හේතුව අධිරාජ්‍යවාදය  බවය. තමාරා ඉලක්කය බලා මේ සැමටම ගිලින්නට ඇමක් දැම්මේය.  
අමරසේකරගේ ඉහත සහන් කළ ලිපියේ මෙසේ ද එයි:‘‘කොටි ත‍්‍රස්තවාදය ගැන මා මුලින්ම ලියූ 1987 දීත් මා පෙන්වා දුන්නේ ඊට හේතුව ජනවාර්ගික ගැටළුවක් නොව අපේ රට බෙදීමට කැරෙන බටහිර කුමන්ත‍්‍රණයක් බවය. දැන් එම සත්‍ය අප දෑස් ඉදිරියේ දිදුලයි’’
අධිරාජ්‍යවාදය සහ බටහිර පට්ටා ගසන අමරසේකරගේ දරුවා  ඉගෙනීමට යවන ලද්දේ බටහිර අධිරාජ්‍යවාදී රටවලටය. ( ජාතික චින්තන නලින් ද සිල්වා සිය දරුවන් යැවූයේත් වාසුදේව යනාදී බොහෝ දෙනා සිය දරුවන් යැවූයේත් මෙම අධිරාජ්‍යවාදී බටහිරටය) එමෙන්ම බටහිර අධිරාජ්‍යවාදය විනාශ කිරීමට කතා කරන ජවිපෙ නායක සෝමවංස දිවි රැක ගත්තේ එම බටහිර ජීවත් වෙමිනි. එහිම අත්තක් වන පෙරටුගාමී නායකයා සහ පවුල ජීවත්වන්නේද මෙම අධිරාජ්‍යවාදයේම පුරුකක් වන  ඕස්ටේ‍්‍රලියාවේ ය. පුදුමයකට මෙන් මේ සියළු දෙනා කදුළු හලන තමාරා කුනනායකම් ජිවත්වන්නේත් අධිරාජ්‍යවාදී බටහිර පුරවැසියකු ලෙසය.
කුනනායකම් බටහිර ජීවත්වීමට පැමිණියේ දේශපාලන මර්දනයෙන් බේරීමට නොවේ. කරදරයක් නැතිව යහපත් ජීවිතයක් ගත කිරීමට ය. ඇය ශ‍්‍රී ලංකාවේ ජීවත්වීමට කවරදාකවත් නොපැමිනෙන්නේ එවැනි මර්දනයකට  නොවේ. බටහිර ජීවිතය සුව පහසු නිසා ය. ( ඒ අධිරාජ්‍යවාදයේ මේසයෙන් වැටෙන කටු ලෙව කෑමක්ද?)
මේ සමාජවාදී - ජාතිවාදී සියළු  දෙනාටම අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරන ලද යෝජනාව ද අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයකි. උගත් පාඩම් කොමිසමේ යෝජනා ගැන ජවිපෙ කීවේ ඒවා කිසිදු වැඩකට නැති හම්පඩ යෝජනා බවය. හෙළ උරුමය හෝ වීරවංශ හෝ මෙම යෝජනාවලට සහායක් දක්වන්නේ නැත. පෙරටුගාමීන් එවැනි අරගලයන්ට විජේවීර වැඩවර්ජන සම්බන්ධයෙන් කී පරිදි කැද කෝප්ප සටන් යැයි කියන්නට ඉඩ තිබේ.
එතැන ද තමාරා සමඟ මහා පොදු සාධකයක් තිබේ.
උගත් පාඩම් කොම්සමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි යැයි බොල්ෂෙවික් සමාජවාදීන් හෝ සිංහල ජාතිකවාදීන් හෝ විශ්වාශ කරන්නේ නැත. (ටැමිල් නෙට් මගින් නියෝජනය වන අන්ත දෙමළ ජාතිවාදී ප‍්‍රවණතාවය දරන්නේත් එම අදහසය)
ඊට හේතුව නම්  මේ සියළු  දේශපාලන මතවාදයන්ට ඇත්තේ තමන් විසින් උදා කරනු ලබන අවසාන සහ උත්තරීතර විසඳුම් සමාජය පිළිබඳ ඉදිරි දර්ශණයක් පමණක් බැවිනි. එබැවින් මේ කිසිවකුගේ දේශපාලන සමීකරණයන්හි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මගින් ඉදිරිපත් කරන වගවීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ස්ථානයක් නැත.
බටහිර සහ ප්‍රජාතන්ත්‍රවාදය
බටහිර යනු හුදු අධිරාජ්‍යවාදයේ සංකේතයක් ලෙස  දැකීමද මෙම සියළු දෙනාටම පොදු ය. බටහිර විසින් ඉදිරියට ගෙන එන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ මානව හිමිකම් පර්්‍යයාලෝකය විවිධ හේතූන් උඩ මෙම  පිරිස් පිළිගන්නේ නැත. වර්තමාන ලෝක තත්ත්වය තුළ ලෝක දේශපාලනය තුළ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ධජය උසුලාගෙන සිටින්නේ බටහිර විසින්  බව මෙම එකී දේශපාලන ධාරාවන් පිළිගන්නේ නැත. මියන්මාරයේ ජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සං සූ කීට නිදහස  ලැබුණේ චීනය හෝ ඉරානය නිසා නොව බටහිර සංවිධාන සහ රාජ්‍යන් ගෙන ගිය තෙරපුම් නිසාය. එවැනි තවත් නිදසුන් මෑත ඉතිහාසයෙන්ම සොයා ගත හැකිය.
වීරවංශ අර්ධ අඥාදායක වැලැඩිමිර් පූටින් අදහන අතර වම්පික රණකවට ඉරාන ජනයාගේ ලෙයින් බෞතිස්ම ලබන අහමඩිනිජාඞ් වීරයාය. ජවිපෙට එවැනිම අඥාදායකයකු වන වෙනිසියුලාවේ හියුගෝ චාචේස් අනුගමනය කළ යුතු විප්ලවවාදියෙකි. තමාරා නොදැන ගොඩ නැගූ අශුද්ධ සංධානයේ හැටි.
මෙම කරුණ විසින් වත්මනෙහි අප විසින් වාද විවාද කළ යුතු එක් වැදගත් ප‍්‍රස්තතුයක් ඉදිරිපත් කරයි. එනම් බටහිර සහ බටහිර විසින් සහාය දක්වනු ලබන මානව හිමිකම් ප‍්‍රවර්ධනය පිළිබඳ අපේ ආකල්පය හුදෙක් නව විජිතවාදී මතවාදය මත පමණක් පදනම් විය යුතුද යන්නයි.
දුගී බවට සහ ජනවාර්ගික ප්‍රශ්ණයට හේතුව බටහිරද?
දෙවැනි ප‍්‍රස්තුතයද ඊට අදාළය. එනම් ශ‍්‍රී ලංකාවේ දුගී බාවයට සහ ජනවාර්ගික ප‍්‍රශ්ණයට හේතුව අධිරාජ්‍යවාදය හෝ නව යටත් විජිතවාදයද යනුය. අප නිදහස ලබන විට සමාජ ආර්ථික වශයෙන් අපට පිටු පසින් සිටි රටවල් අප පසුකර යෑමට සමත්වූයේ කෙසේද? රටක බහුමාන සංවර්ධනය සඳහා අභ්‍යන්තර සාදක කොතරම් දුරට තීරණාත්මක වන්නේ ද?
තමාරා කුනනායකම් සිය තානාපති ධුරය රැුක ගැනීමේ අපේක්ෂාවෙන් අවුස්සන ලද දේශපාලන දූවිලි දැන් ඇය මතම පතිත වන්නට හැර ශ‍්‍රී ලංකාවේ සමාජ ප‍්‍රතිසංසකරණයන් අපේක්ෂා කරන අප විසින් සළකා බැලිය යුතු එවැනි ප‍්‍රශ්ණ දෙස හැරෙන්නට කාලය එළඹ තිබේ.
  • දොඩන්දූවගේ පියසේන [ Dodanduwage Piyasena]

yukthiya.com

No comments:

Post a Comment